Grade 10

Lesson 03 · 6.1.3

ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

ජෝර්ජ් කීට් (1901 - 1993)

  • ආසියාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ජෝර්ජ් කීට් ක්‍රි.ව. 1901 අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේ දී සිංහල බර්ගර් පවුලක උපත ලැබී ය.
  • මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත.
  • ඔහු 43 කණ්ඩායමට අයත් චිත්‍ර ශිල්පියකු වන අතර ගෝතමී විහාරයේ බිතුසිතුවම් ද නිර්මාණය කර ඇත.
  • නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු තම සිතුවම් නිර්මාණවලට හින්දු කලා ආභාසය හා යුරෝපයේ පැබ්ලෝ පිකාසෝගේ ඝනිකවාදී චිත්‍ර ශෛලියේ කලා ආභාසය සහිත ව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගැනීම දැකිය හැකි ය.
  • කොළඹ - බොරැල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවම් ඇඳීම වර්ෂ 1939 - 1940 කාලය තුළ සිදුවිය.
  • ගෝතමී විහාරයේ බිතු සිතුවම් චිත්‍රාවලියක් සේ ඇඳ ඇති අතර එහි දැකිය හැකි සුවිශේෂී අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
    • මහමායා දේවිය දුටු සිහිනය
    • සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
    • සරණ මංගල්‍ය
    • නළඟනන්ගේ විකාර දැකීම
    • සතර පෙර නිමිති දැකීම
    • මාරපරාජය
  • මෙම සිතුවම් සෙ.මී. 192 ක් පමණ උස්වූ බිත්තියක ජීව ප්‍රමාණයෙන් ඇඳ ඇත.
  • ජෝර්ජ් කීට් ශිල්පියා සිතුවම් නිර්මාණයේ දී රේඛාවට ප්‍රධාන තැනක් ලබා දී ඇති අතර එම රේඛා සෘජු රේඛා, කෙටි රේඛා, වක්‍ර රේඛා වශයෙන් හඳුනාගත හැකි ය.
  • නිතැතින් ම ගලායන ජීවමය ගුණයෙන් යුතු රේඛාවෙන් රූපවල පිරුණු බව මනා ව ඉස්මතු කර ඇත.
  • රතු, සුදු, දුඹුරු, කහ, නිල්, කොළ යන වර්ණ භාවිත කරමින් සියුම් ලෙස ත්‍රිමාන ලක්ෂණ මතු කර ඇත.
  • මෙම සිතුවම් වියළි බදාමයේ අඳින ලද බිතුසිතුවම් ක්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කර ඇත.

මාරපරාජය

මාරපරාජය
මාරපරාජය
  • ගෝතමී විහාරයේ සිතුවම් අතර සුවිශේෂී සිතුවමක් ලෙස සැලකෙන 'මාර පරාජය' හින්දු කලා ලක්ෂණ හා පිකාසෝගේ ඝනිකවාදී ශෛලීය ලක්ෂණ ආභාසය කර ගත් නිර්මාණයකි.
  • ඝනිකවාදී හැඩතල භාවිත කිරීමෙන් මාරසේනාවේ මුහුණුවල රුදුරු භයංකර විලාසය මැනවින් ඉස්මතු කර ඇත.
  • මාර පිරිසට දුඹුරු, අළු, කළු වැනි අඳුරු වර්ණත් බුදුන්වහන්සේ සඳහා අඳුරු කහ, ලා දුඹුරු වැනි වර්ණත් යොදා ගනිමින් ත්‍රිමාන ලක්ෂණ සහිත ව සිතුවම වර්ණවත් කර ඇත.
  • රූප වටා පරිපූර්ණත්වය හා නිමාව පෙන්වන නිර්මාණශීලී රේඛාකරණය ඔහුට ම ආවේණික වූවකි.

නායිකා චිත්‍ර

නායිකා චිත්‍ර
නායිකා චිත්‍ර
  • ජෝර්ජ් කීට් ශිල්පියා විසින් නායිකා චිත්‍ර ගණනාවක් ඇඳ ඇත.
  • මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස් මත කරන ලද චිත්‍ර නිර්මාණයන් ය.
  • නායිකා සිතුවම් අනුරාගී බවින් යුතු ප්‍රකාශනයන් වන අතර ඒ බව දැක්වීම සඳහා පුළුල් ඇස් හා හා පුළුල් දෙතොල් නිරූපණය කර ඇත.
  • නිර්මාණයේ අලංකරණය මෙන්ම ප්‍රකාශන ශක්තිය තීව්‍ර කිරීම සඳහා ද රේඛාකරණය මැනවින් භාවිත කර ඇත.
  • මෙම කලා නිර්මාණ සඳහා ආභාස වශයෙන් බටහිර ඝනිකවාදී කලා ලක්ෂණ මෙන් ම හින්දු දර්ශනයේ තන්ත්‍රයාන ලක්ෂණ ද ලැබී ඇතැයි විචාරක මතයයි.
  • අඳුරු වර්ණ මෙන්ම පැහැදිලි දීප්තිමත් වර්ණ එකට සංකලනය කර වර්ණවත් කර තිබීම මෙම නායිකා සිතුවම්වලින් දැකිය හැකි ය.