Grade 11

Lesson 05 · 6.1.5

ඒ. මාර්ක් ශිල්පියාගේ නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

ඒ. මාර්ක් (1933-2000)

  • විසිවන සියවසේ අගභාගයට අයත් ශ්‍රී ලාංකේය නූතන දෘශ්‍ය කලාවේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ දමිළ ජාතික ශිල්පියෙකි.
  • යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේදී වර්ෂ 1933 දී උපත ලැබූ ඒ. මාර්ක් ශිල්පියා චිත්‍ර විෂයට පමණක් නොව මූර්ති කලාවට ද එකසේ ප්‍රවීණතාවක් දැක්වූ ශිල්පියෙකි.
  • රජයේ ලලිත කලා ආයතනයට ඇතුළත්ව ඔහු චිත්‍ර කලාව පිළිබඳ උසස් අධ්‍යාපනය ලබාගෙන ඇත.
  • චිත්‍ර පන්ති පැවැත්වීම හා චිත්‍ර ප්‍රදර්ශන සංවිධානය කිරීම සඳහා "විඩුමුරෙයික් කල්වි ඕවියක් කලහම්" (විවේක කාලවල චිත්‍ර කලාව හැදෑරීමේ එකමුතුව) නමින් සංගමයක් පිහිටුවීම ඔහුගෙන් සිදු වූ විශිෂ්ට සේවාවක් විය.
  • ඔහුගේ චිත්‍ර නිර්මාණවල ලක්ෂණ අනුව ඒවා පහත සඳහන් ලෙස වර්ගීකරණය කළ හැකි ය.
  1. වර්ණ පදනම් කරගත් යුගය
  2. රේඛා පදනම් කරගත් යුගය
  • වර්ණ පදනම් කරගත් යුගය තුළ ද අඳුරු යුගය, සුදු යුගය, නිල් යුගය (Dark Period, White Period, Blue Period) ආදී විවිධ වර්ණ යුග හඳුනාගත හැකි ය.
  • රේඛා පදනම් කරගත් යුගය ඝනිකවාදී යුගය වශයෙන් හඳුන්වා ඇත.
  • පැස්ටල් වර්ණ, දිය සායම්, කොලාජ් හා මිශ්‍ර මාධ්‍ය ආදිය භාවිත කරමින් සාමාන්‍ය කඩදාසි මත මෙම නිර්මාණ සිදු කර ඇත.
  • ඔහු විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට චිත්‍ර නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.

Selected works

  • • සකුන්තලා
  • • තාණ්ඩවම්
  • • කාවඩි නැටුම
  • • රාගමාලිගෙයි

ඔහුගේ මූර්ති නිර්මාණවල ඝනිකවාදී ලක්ෂණවලට අමතරව හෙන්රි මූවර්ගේ හැඩවල ලක්ෂණ ද ආභාස කරගනිමින්, ඔහුටම ආවේණික නූතන ශෛලියකින් හා ශිල්ප ක්‍රමයකින් යුතුව නිර්මාණ කිරීම දැකිය හැකි වේ.

සකුන්තලා (චිත්‍ර)

සකුන්තලා (චිත්‍ර)
  • ඒ. මාර්ක් ශිල්පියා විසින් නිර්මාණය කළ සිතුවම් අතර සුවිශේෂී නිර්මාණයක් වන්නේ සකුන්තලා නමැති චිත්‍රයයි.
  • කාලිදාස විසින් රචිත සකුන්තලා කාව්‍යයේ ප්‍රධාන චරිතය වන සකුන්තලා මෙම නිර්මාණය සඳහා වස්තු විෂය වී ඇත.
  • පැස්ටල් මාධ්‍යයෙන් වර්ණ ගැන්වූ මෙම නිර්මාණයෙහි ස්වභාවිකත්වය අභිබවා ව්‍යුක්තකරණ (Abstraction) කලා ලක්ෂණ දැකිය හැකි වේ.
  • ඝනිකවාදී ශෛලීය ලක්ෂණ මෙම නිර්මාණය සඳහා ආභාසය වී ඇත.
  • ඝනික හැඩතල හා ළා පැහැති පැතලි වර්ණ නිසා මෙම නිර්මාණය ද්විමාන කලා ලක්ෂණවලින් යුක්ත වුව ද, රූපය වටා යොදා ඇති ඝන රේඛාකරණය නිසා ත්‍රිමාන ලක්ෂණ මතු කර පෙන්වයි.
  • චිත්‍රයේ පසුබිම සඳහා යොදා ඇති වර්ණය තලය පුරා විහිදී යන ලෙස වර්ණ ගන්වා ඇත.
  • නිර්මාණයේ යොදා ඇති සමස්ත වර්ණ, හැඩතල හා රේඛාකරණයෙන් සකුන්තලාගේ අභ්‍යන්තර භාවමය හැඟීම් ප්‍රකාශ කිරීමට ශිල්පියා උත්සාහ දරා ඇති බව පෙනේ.

මිනිසා සහ බල්ලන් (මූර්ති)

මිනිසා සහ බල්ලන් (මූර්ති)
  • ඒ. මාර්ක් ශිල්පියා විසින් නිර්මාණය කළ මූර්ති අතර සුවිශේෂී නිර්මාණයක් වශයෙන් මෙම නිර්මාණය හැඳින්විය හැකි ය.
  • ඉදිරිපස ගාත් ඔසවා පසුපස ගාත්වලින් සිටගෙන සිටින බල්ලන් දෙදෙනෙකු සමඟ සිටින මිනිසෙකුගේ රුවක් මෙම නිර්මාණයෙන් පිළිබිඹු කෙරේ.
  • සිටගෙන සිටින බල්ලන්ගේ රූපවලට වඩා කුඩාවට මෙහි මිනිස් රුව නිරූපණය කර ඇත.
  • ඒ. මාර්ක් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද මෙම මූර්තිය සඳහා පදනම් වී ඇත්තේ ඔහුට ආවේණික නව්‍ය මූර්ති ශිල්ප ක්‍රමයකි.
  • නූතන කලා භාවිතයන් සහිත මෙම නිර්මාණය සඳහා ඝනිකවාදී කලා ලක්ෂණ සහ හෙන්රි මුවර්ගේ මූර්ති නිර්මාණවල ලක්ෂණ ආභාස වී ඇති බව විචාරක අදහසයි.
  • ඉවතලන හෝ සොයාගත් ද්‍රව්‍ය (Found Objects) උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මෙම කෘතිය සඳහා ප්ලාස්ටික් බෝතල් හා ප්ලාස්ටික් තහඩු භාවිත කර ඇත.
  • ප්ලාස්ටික් බෝතල්වල දිගටි හා විවර සහිත හැඩ රිද්මයානුකූලව හා සමබරව අවකාශය සමඟ භාවිත කර ඇති අතර, ඉදිරියට නෙරා ගිය හා ඇතුළට නෙරා ගිය කොටස් මතු කරමින් මෙම නිර්මාණය ඉදිරිපත් කර ඇත.
  • විස්තරාත්මක බවින් අඩු සරල හැඩ සමඟ ඇති කරන සරල ප්‍රකාශනය මෙම කෘතියේ සුවිශේෂී ලක්ෂණයකි.