Grade 11

Lesson 17 · 7.2.3

හින්දු ආගමික ලෝකඩ ප්‍රතිමා අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

නටරාජ මූර්තිය

නටරාජ මූර්තිය
  • හින්දු ආගමික මූර්තියක් වූ නටරාජ ප්‍රතිමාව ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ තාණ්ඩව නර්තන විලාසයක් පෙන්නුම් කරයි.
  • කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති මෙම නටරාජා රුව හමුවී ඇත්තේ පොළොන්නරුවේ අංක 1 ශිව දේවාලයෙනි. මෙය ක්‍රි.ව. 12 වැනි සියවස් වලට අයත් ලෙස සැලකේ.
  • ලෝකඩ මාධ්‍යයෙන් පූර්ණ උන්නත ව මූර්තිමත් කර ඇති මෙම නිර්මාණය ලෝහ වාත්තු කිරීමේ ඉපැරණි ශිල්ප ක්‍රමය පෙන්වන විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකේ.
  • සමබරතාව රැකෙන පරිදි මූර්ති සිද්ධාන්ත මත පිහිටා ගිනි කදම්භයක් තුළ වේගවත් නර්තනයක යෙදෙන අයුරු දැක්වීම මෙම නිර්මාණයේ විශිෂ්ට ශිල්පීය ලක්ෂණයකි.
  • මෙම ප්‍රතිමාවේ අත් වලින් දක්වන සංකේත හා මුද්‍රා පහත දැක්වේ.
    • දකුණුපස ඉහළ හස්තයේ - උඩැක්කිය / බෙරය
    • වම්පස ඉහළ හස්තයේ - ගිනිසිළුව
    • දකුණු පහළ හස්තය - අභය මුද්‍රාව
    • වම්පස පහළ හස්තය - පොළොවට දිගු කරගෙන සිටින ලෙසින් ගජ හස්ත මුද්‍රාව
  • වම්පය ඔසවා රඟන ශිව දකුණු පාදයෙන් සිරුරේ බර දරාසිටින අතර එම පාදයෙන් පාගාගෙන සිටින වාමන රූවෙන් අවිද්‍යාව සංකේතවත් කරයි.
  • කෙස් කලඹ තුළ ඇති කිඳුරු රූවින් ගංගානම් ගඟ නිරූපණය කෙරෙන අතර, හිස පැලැඳි ඔටුන්නෙහි අඩ සඳක්, මිනිස් හිස්කබලක්, කිඳුරු රූපයක් හා නාග රූපයක් දැක් වේ.
  • මුළු රූපයම ගිනි දූල් විහිදෙන ආරුක්කුවක් ඇතුළත පිහිටා ඇති අතර මෙම ආරුක්කුව ඇරඹෙන්නේ පද්මාසනයක් මත පිහිටුවා ඇති බද්ධ කරනු ලැබූ මකර මුඛවලිනි.
  • මෙම මූර්තියේ දකුණු කනෙහි පුරුෂ කර්ණාභරණයක් හා වම් කනෙහි ස්ත්‍රී කර්ණාභරණයක් දැක්වෙන අතර ග්‍රීවාභරණ ද පැලැඳ ඇත.

ශිවකාම සුන්දරී ප්‍රතිමාව

ශිවකාම සුන්දරී ප්‍රතිමාව
  • මෙය ශිවගේ පතිනිය වූ පාර්වති දෙවඟන රූපයයි. පර්වතයේ උපන් නිසා පාර්වති ලෙස හඳුන්වන ලබන අතර එසේ ම ඇය ශිවගේ පතිනිය වූ නිසා ශිව ශක්ති, ශිවකාමසුන්දරී ආදී නාමයන්ගෙන් ද හඳුන්වනු ලැබේ.
  • පොළොන්නරු අංක 5 දරන ශිව දේවාලයෙන් හමු වී දැනට පොළොන්නරු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන මෙම ප්‍රතිමාව ස්ත්‍රී ලාලිත්‍ය ප්‍රකට කරන උසස් මූර්තියකි.
  • ක්‍රි.ව 12 වැනි සියවසට අයත් නිර්මාණයක් වන මෙය ලෝකඩ මාධ්‍ය භාවිතයෙන් ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය අනුව කරන ලද නිර්මාණයකි.
  • දකුණු අත කටක හස්ත මුද්‍රාවෙන් යුක්ත ය. වමත ලෝහ හස්ත මුද්‍රාවෙන් පහත හෙළා ගෙන සිටින ලෙසින් දක්වේ.
  • හිස් පලදනාව, ඇඟට ඇළුණු වස්ත්‍ර හා අලංකාර ආභරණ මෙම ප්‍රතිමාවේ අලංකරණය වැඩි කරයි.
  • ස්ත්‍රී ලාලිත්‍ය මැනැවින් මූර්තිමත් කරන ත්‍රිභංග ඉරියව්වෙන් යුතු වූ විශිෂ්ට නිර්මාණයක් වශයෙන් මෙම මූර්තිය සැලකේ.

ගණදෙවි ප්‍රතිමාව

ගණදෙවි ප්‍රතිමාව
  • පොළොන්නරුවේ අංක 5 දරණ හින්දු කෝවිලෙන් හමු වූ හින්දු ආගමික මූර්තියකි.
  • ක්‍රි.ව. 12 වැනි සියවසට අයත් ලෙස සැලකෙන මෙම ගණ දෙවි රූපය මේවන විට පොළොන්නරු කෞතුකාගාරයේ ප්‍රදර්ශිතය.
  • ලෝකඩ මාධ්‍ය හා ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය භාවිත කර ඇත.
  • ශිව හා පාර්වතිගේ වැඩිමහල් පුත්‍රයා ගණ දෙවියන් ලෙස සැලකේ.
  • ඇත් හිසක් හා විශාල උදරයක් සහිත ශරීරයකින් යුතු ගණ දෙවි ඥානයට අධිපති දෙවියන් මෙන්ම බාධක ඉවත්කරන්නා ලෙස ද සැලකේ.
  • මෙම ප්‍රතිමාව අත් සතරකින් යුක්ත ය.
    • පිටුපස දකුණතින් - කෙටේරිය
    • පිටුපස වමතින් - අක්ෂරමාලාව
    • ඉදිරිපස දකුණතින් - බිඳුණු දළයක්
    • ඉදිරි පස වමතින් - අඹ ගෙඩියක් දරා සිටියි.
  • පද්මාසනයක් මත රාජාසන ලීලාවෙන් හිඳින ලෙසින් මෙම ප්‍රතිමාව නිමවා ඇත.

කාරයික්කාල් අම්මයියාර් මූර්තිය

කාරයික්කාල් අම්මයියාර් මූර්තිය
  • කාරයික්කාල් අම්මයියාර් නැමති මෙම නිර්මාණය පොළොන්නරු යුගයේ හින්දු ආගමික මූර්තියකි.
  • පොළොන්නරුව අංක 5 දරණ ශිව දේවාලයෙන් හමුවන මෙම නිර්මාණය දැනට පොළොන්නරු කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.
  • මෙයින් මූර්තිමත් වන්නේ, ශිව දෙවියන් කෙරෙහි වූ අසාමාන්‍ය භක්තිය නිසා තම නාරී සෞන්දර්ය අහිමි කරවන ලෙස දෙවියන්ගේ ඉල්ලීම නිසා කෘෂ, අශෝභන තැනැත්තියක් බවට පත් වූ කාන්තාවකි.
  • ඇය කෘෂ හා විකෘති ශරීරයකින් යුතු ව හිඳගෙන තාලම්පට වයන ස්වරූපයෙන් දක්වා ඇත.
  • මෙම ප්‍රතිමාව ශ්‍රී ලාංකේය හින්දු කලා නිර්මාණ අතර සුවිශේෂ කලා ලක්ෂණ පෙන්වන කලාත්මක පරිකල්පනයේ උසස් නිර්මාණයක් වශයෙන් සැලකේ.
  • ක්‍රි.ව. 12 වැනි සියවසට අයත් ලෙස සැලකෙන මෙම ප්‍රතිමාව ලෝකඩ මාධ්‍ය හා ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය භාවිත කර ඇති මූර්තියකි.

සුන්දරමූර්තිස්වාමි ප්‍රතිමාව

සුන්දරමූර්තිස්වාමි ප්‍රතිමාව
සුන්දරමූර්තිස්වාමි ප්‍රතිමාව
  • මෙම ලෝකඩ ප්‍රතිමාවෙන් සුන්දරමූර්තිස්වාමි නැමති ශිව භක්තිකයා නිරූපණය වෙයි.
  • පොළොන්නරු යුගයේ ක්‍රි.ව. 11 වැනි සියවසට අයත් ලෙස සැලකෙන මෙය හින්දු ආගමික මූර්තියකි.
  • පොළොන්නරුව අංක 5 දරණ ශිව දේවාලයෙන් හමු වී ඇති මෙම ප්‍රතිමාව දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරේ.
  • සුන්දරමූර්තිස්වාමි යනු ශිව ආගමේ දැක්වෙන හැට තුන්දෙනෙකුගෙන් යුතු ශාන්තුවරයන්ගෙන් කෙනෙක් වේ. ඔහු “තේවාරම්” නැමති හින්දු ස්ත්‍රෝත්‍ර ලියා දේවාලයෙන් දේවාලයට යමින් ඒවා ගායනා කරන කෙනෙකු ලෙස හැඳින්වේ.
  • සුන්දරමූර්තිස්වාමි රූපය නිරූපණය කොට ඇත්තේ මංගල ඇඳුමකින් සැරසණු යෞවනයකුගේ විලාසයට ය.
  • තාරුණ්‍යය, කඩවසම් බව හා ලාලිත්‍යය යන ලක්ෂණවලින් යුතුව ත්‍රිභංග දේහයකින් සමන්විතව නිමවා ඇත.
  • ශරීරාංග තාත්වික ලෙස මූර්තිමත් කරන ලද කලාත්මක නිර්මාණයක් වශයෙන් මෙය සැලකේ.
  • දැතින් කටක හස්ත මුද්‍රාව දක්වයි. හදපීඨයක් මත සවිකරන ලද වටකුරු පද්මයක් මත ත්‍රිභංග ඉරියව්වෙන් සිටගෙන සිටී.
  • ලෝකඩ මාධ්‍ය හා ඝන ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමය භාවිත කර ඇති මෙම ප්‍රතිමාව හින්දු කලා නිර්මාණ අතර සුවිශේෂ කලා ලක්ෂණ පෙන්වන නිර්මාණයක් ලෙස සැලකේ.