Grade 10

Lesson 04 · 6.1.4

ඩේවිඩ් පේන්ටර් ශිල්පියාගේ නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

ඩේවිඩ් පේන්ටර් (1900 - 1975)

  • විශිෂ්ට චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රසිද්ධියට පත් ඩේවිඩ් පේන්ටර් වර්ෂ 1900 දී උතුරු ඉන්දියාවේ ඇල්මෝරා හි දී ඉංග්‍රීසි ජාතික මිෂනාරි පියෙකුට හා සිංහල මවකට දාව උපත ලැබීය.
  • ඔහු එංගලන්තයේ රෝයල් ඇකඩමියේ චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යාපනය ලබා ඇත.
  • යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවේ ස්වභාවිකවාදී චිත්‍ර කලා ආභාසය සහිතව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගෙන ඇත.
  • ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු ලංකා කලා සංගමයට අයත් අද්‍යතන යුගයේ චිත්‍ර ශිල්පියකු වේ.
  • ඩේවිඩ් පේන්ටර්ගේ නිර්මාණ සඳහා වස්තු විෂය වූ තේමා පහතින් දැක්වේ.
    • ප්‍රතිරූප
    • භූමි දර්ශන
    • මානව රූප සම්පිණ්ඩන
    • ත්‍රිත්ව දෙව්මැදුරේ බිතු සිතුවම්
  • ඩේවිඩ් පේන්ටර් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ ශෛලිය හා චිත්‍ර මූලිකාංග සංරචන කිරීමේ ලක්ෂණ
    • ජීවගුණය හා කායික සුන්දරත්වය මැනැවින් පිළිබිඹුවන ලෙස මානව රූප චිත්‍රණය කිරීම
    • චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය
    • මිනිස් ඉරියව් ලාලිත්‍යයෙන් හා හැඟීම් ප්‍රකාශනයෙන් යුතු වීම
    • ත්‍රිමාන ලක්ෂණ සහිත ව දීප්තිමත් වර්ණමාලාවක් භාවිත කිරීම
    • ක්‍රිස්තියානි තේමා නිරූපණ කිරීමේ දී යුරෝපීය සංස්කෘතිය හා භූතලය වෙනුවට ශ්‍රී ලාංකීය සමාජ පසුබිමක චිත්‍රණය කර තිබීම

ජයග්‍රාහි ලෙස ජෙරුසෙලමට ඇතුළු වීම

ජයග්‍රාහි ලෙස ජෙරුසෙලමට ඇතුළු වීම
  • ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණයකි.
  • චිත්‍රයේ දක්වන මානව රූප ඉරියව් කායික සුන්දරත්වය දක්වන ලාලිත්‍යයෙන් යුතුව චිත්‍රණය කර ඇති අතර ඒවා හැඟීම් ප්‍රකාශනයෙන් යුතුව නිරූපණය කෙරේ.
  • තලය මත රූප සංරචනය කිරීමේ දී පෙරබිම, මැද බිම හා පසුබිම මත රූප පිහිටවමින් චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය කර ඇත.
  • ත්‍රිමාන ලක්ෂණ සහිතව වඩාත් රෝස පැහැයට හුරු දීප්තිමත් වර්ණමාලාවක් භාවිත කර ඇත.
  • චිත්‍රයේ පසුබිම සඳහා දක්වා ඇත්තේ ජෙරුසරම කාන්තාරය වෙනුවට ලාංකීය වියළි කලාපීය කඳු සහිත භූ පරිසරයකි.

යහපත් සමරිතානුවරයා (Good Samarithan)

යහපත් සමරිතානුවරයා (Good Samarithan)
  • මෙම සිතුවම මහනුවර ත්‍රිත්ව දෙව්මැදුරේ දැකිය හැකි සිතුවමකි.
  • මින් නිරූපණය වන්නේ ජේසුස් වහන්සේ දේශනා කරන ලද උපමා කථාවක අවස්ථාවකි. එනම් යහපත් සමරිතානුවරයා පහරදීමකට ලක්වී තුවාල ලැබූ පුද්ගලයකු හට පිහිටවන ආකාරයයි.
  • ජේසුස් වහන්සේගේ කතා පුවත සහිත මහනුවර ත්‍රිත්ව දෙව්මැදුරේ බිතු සිතුවම්වල සුවිශේෂත්වය වන්නේ යුරෝපීය සංස්කෘතිය හා භූ තලය වෙනුවට ශ්‍රී ලාංකේය සමාජ පසුබිම නිරූපණය කර තිබීමයි.
  • ශ්‍රී ලාංකේය මිනිස් රූප, ඇඳුම් පැලඳුම් හා පරිසර ස්වභාවය මෙම චිත්‍රයේ කැපී පෙනෙන ලක්ෂණයෝ ය.
  • යුරෝපීය ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවේ සංරචන සිද්ධාන්ත ලක්ෂණ වන ගැඹුර නිරූපණය කරන පර්යාලෝක ලක්ෂණ හා ත්‍රිමාන ලක්ෂණ භාවිතය මෙම නිර්මාණවල දැකිය හැකි ය.