Grade 11

Lesson 16 · 7.2.2

පොළොන්නරු යුගයේ ශෛලමය ප්‍රතිමා අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

ගල්විහාරයේ බුදු පිළිම

  • ක්‍රි.ව. 12 වැනි සියවසේ පොළොන්නරු යුගයේ දී මහා පැරකුම්බා රජතුමා විසින් ගල් විහාරය හෙවත් උත්තරාරාමය ඉදි කරවන ලදි.
  • ගල්විහාරය යන නාමය මේ සඳහා යෙදී ඇත්තේ බුදු පිළිම සතරක් ගලින් නෙළා ඇති හෙයිනි. එසේම ඒවා පිහිටි ගලෙහි ම ස්වභාවය අනුව අධිඋන්නත ශිල්පක්‍රමයට සම්පිණ්ඩනය කර තිබීම දැකිය හැකි ය.
  • ගල්විහාරයේ බුදු පිළිම ථේරවාදී බෞද්ධ සංකල්පවලට වඩා මහායන බෞද්ධ සංකල්පය ඉස්මතු කරන බව විචාරක මතය යි.
  • ගල්විහාරයේ බුදු පිළිමවල දැකිය හැකි පොදු ලක්ෂණ
    • මහායාන කලා සම්ප්‍රදායයේ ලක්ෂණ අනුව මහා කරුණා ගුණයට වඩා දශබල ගුණය හා වීරත්වය පෙන්වීම
    • ඒකාංශ කරන ලද ඇඟට ඇළුණු චීවරයෙහි රැළි සමාන්තර ව ද්විත්ව රේඛාකරණයෙන් යුතු වීම
    • ශීර්ෂ ලක්ෂණ වශයෙන් අඩවන් නෙත්, ලඹසවන් හා අක්බමරු සහිත කේෂ නිරූපණය සමග උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණ දක්වීම

සමාධි බුද්ධ ප්‍රතිමාව - විශාල හිඳි පිළිමය

සමාධි බුද්ධ ප්‍රතිමාව - විශාල හිඳි පිළිමය
සමාධි බුද්ධ ප්‍රතිමාව - විශාල හිඳි පිළිමය
  • මෙය ගල්විහාර පූජා භූමිය තුළ වීරාසන ඉරියව්වෙන් වැඩ හිඳින විශාල සමාධි බුද්ධ ප්‍රතිමාවයි.
  • අධි උන්නත ව නෙළන ලද මෙම පිළිමය ධ්‍යාන මුද්‍රාවෙන් නිරූපිත ය.
  • වජ්‍ර සංකේත හා සිංහ රූ කැටයම් නිසා වැඩ හිඳින ආසනය වජ්‍රාසනය ලෙස හඳුන්වනු ලැබේ.
  • බුදුපිළිමයේ හිසට පිටුපසින් නෙළුම් මල් සැරසිලි හා විමාන ලක්ෂණ සහිත අලංකාර තොරණක් දක්වා ඇත.
  • මෙම තොරණේ තිරස් සිරස් කුලුනු, විමාන සමග වන කුඩා සමාධි බුදු පිළිම, තිරස් කුලුනු කෙළවර මකර මුඛ හා සිංහ රූප කැටයම් දැකිය හැකි ය.
  • පිහිටි ගල මත මටසිලිටි නිමාවකින් නිර්මිත මෙම ප්‍රතිමාවේ ඒකාංශ චීවරය ද්විත්ව රේඛාකරණය සහිත ඇඟට ඇලුණු ස්වරූපයෙන් යුතු ව නෙළා ඇත.
  • ලඹසවන් හා අක්බමරු කෙස් සමග උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණ නිරූපිත ය.
  • ප්‍රතිමාවේ පිළිබිඹූ වන නිර්මාණ අංග මතින් මහායාන සංකල්පය මතු කිරීමට උත්සාහ දරන බවත් විද්වත් අදහස් වේ.

විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව

විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව
  • ශ්‍රී ලාංකේය ගල් කැටයම් අතර අභ්‍යන්තරයට කපා සකස් කළ පළමු විශාල ගුහාව වන්නේ විද්‍යාධර ගුහාවයි.
  • ගුහාව මධ්‍යයේ වජ්‍ර සංකේත හා සිංහ රූප කැටයම් සහිත වජ්‍රාසනයක් මත බුදුන් වහන්සේ වීරාසන ක්‍රමයෙන් හා ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳි.
  • අධි උන්නත ව නෙළන ලද ප්‍රතිමාවකි.
  • බුද්ධ ප්‍රතිමාව සමග විවිධ නිර්මාණාත්මක රූප ගල් බිත්තිය මත උන්නත ව සම්පිණ්ඩනය කර ඇත.
  • ප්‍රතිමාවට පිටුපස තොරණකි. හිසට ඉහළින් ඡත්‍රයකි. දෙපස ඉහළින් දේවතා රූප දෙකක් හා පහළ ආසනය දෙපස චාමර දරන්නන් හා ආසනයේ පසු ඇන්ද දෙපස නැගී සිටින ව්‍යාල රූප දෙකකි.
  • ඉහළින් දක්වා ඇති දේවතා රූප බ්‍රහ්ම හා විෂ්ණු රූපයත්, පිළිමය දෙපස චාමරධාරී රූපත් දක්වා ඇත.
  • ගල් සිවිලිමේ හා බිත්තිවල දෙවියන්ගේ රූප විශාල ප්‍රමාණයක් චිත්‍රණය කර තිබුණු බවට සාධක ඇති අතර බ්‍රහ්ම ඇතුළු දෙවිවරුන් එම සිතුවම්වලින් නිරූපන කෙරේ.
  • සියුම් ව නෙළා ඇති ප්‍රතිමාවේ ඒකාංශ කරන ලද චීවරය ද්විත්ව රේඛා මගින් නිරූපිත ය.
  • ලඹසවන් හා අක්බමරු කේෂකලාපය මත උෂ්ණීෂ ශීර්ෂ ලක්ෂණ දක්වා ඇත.
  • ප්‍රතිමාවේ පිළිබිඹූ වන නිර්මාණ අංග මතින් මහායාන සංකල්පය මතු කිරීමට උත්සාහ දරන බවත් විද්වත් අදහස වේ.

හිටි පිළිමය

හිටි පිළිමය
හිටි පිළිමය
  • පද්මාසනයක් මත ත්‍රිභංග ලක්ෂණ සහිත ව හිටි ඉරියව්වෙන් අධි උන්නත ව නෙළා ඇත.
  • සියුම් ව නෙළා ඇති ප්‍රතිමාවේ ඒකාංශ කරන ලද චීවරය ද්විත්ව රේඛා මගින් දක්වා ඇත.
  • ප්‍රතිමාවේ දැත් ලය මත බැඳ ගෙන සිටින සේ නිර්මාණය කර ඇති අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය අනුව එමගින් පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව නිරූපිත ය.
  • මෙම ප්‍රතිමාව, බුදුන්වහන්සේගේ පරිනිර්වාණයේ දී වැලපෙන ආනන්ද තෙරණුවන්ගේ යැයි අනුමාන කෙරෙන මතයක් ද වේ.
  • මෙම පිළිමයෙන් දැක්වෙන මුද්‍රාව පිළිබඳ මේ වන විට වෙනස් මතවාද පවතී.
  • ලඹසවන්, අක්බමරු කේෂ කලාපය මත උෂ්ණීෂය සුළුවෙන් යොදා තිබීම හා පද්මයක් මත වැඩ හිඳිම යනාදී කරුණු මූලික කරගෙන මෙය බුදු පිළිමයක් වශයෙන් ද පිළිගැනීමට ලක් වී ඇත.

සැතපෙන බුද්ධ ප්‍රතිමාව

සැතපෙන බුද්ධ ප්‍රතිමාව
සැතපෙන බුද්ධ ප්‍රතිමාව
සැතපෙන බුද්ධ ප්‍රතිමාව
  • ගල්විහාරයේ දකුණුපස කෙළවර දැකිය හැකි මෙම පිළිමය සැතපෙන ඉරියව්වෙන් යුතු බුදු පිළිමය යි.
  • මෙම ප්‍රතිමාව පිරිනිවන් මංචකය බවට ඇතැමුන් විශ්වාස කළ ද වර්තමානයේ ඇතැම් විචාරකයින්ගේ අදහස වන්නේ එමගින් බුදුරජාණන් වහන්සේගේ සැතපෙන අවස්ථාව නිරූපිත බවයි.
  • උසස් ශිල්පීය ලක්ෂණ පෙන්නුම් කරන මෙම ප්‍රතිමාවේ හිසකෙස් අක්බමරු ස්වභාවය හා සමාන්තර යුගල රේඛා දක්වන සිවුර විශේෂ ලක්ෂණ වේ.
  • ප්‍රතිමාවේ ශීර්ෂය සහිත කොට්ටය එබී ඇති ආකාරය දක්වීමෙන් ගල්විහාර කැටයම් ශිල්පියා සතු සියුම් ශීල්පීය හැකියාව මනාව පිළිබිඹූ කිරීමක් වශයෙන් හඳුනාගත හැකි වේ.
  • මෙම ශෛලමය ප්‍රතිමාව අධි උන්නත ව නෙළන ලද්දකි.

පොත්ගුල් විහාර ප්‍රතිමාව

පොත්ගුල් විහාර ප්‍රතිමාව
පොත්ගුල් විහාර ප්‍රතිමාව
පොත්ගුල් විහාර ප්‍රතිමාව
  • පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල පොත්ගුල් විහාරය ඉදිරිපිට මෙම ශෛලමය ප්‍රතිමාව නෙළා අත.
  • පොළොන්නරු යුගයේ ක්‍රි.ව. 11-12 සියවසට අයත් නිර්මාණයක් ලෙස සැලකේ.
  • පිහිටි ගලක අධි උන්නත ව නෙළා ඇති ප්‍රතිමාවකි.
  • මනාව වැඩුණු ශරීරයකින් යුතු මොහු එක් පාදයකට බර දී අනෙක් පාදය සැහැල්ලුව තබා ගෙන ත්‍රිභංග ඉරියව්වෙන් සිටීම නිසා ශරීරයේ රිද්මයානුකූල බවක් නිරූපණය වේ.
  • මෙම ප්‍රතාපවත් මිනිසා කල්පනාකාරී ස්වරූපයකින් යුක්ත ව තම දෙ අත මත ඇති වස්තුව දෙස බලා සිටී.
  • ළය පෙදෙස දක්වා වැටී ඇති යටි රැවුලක්, දෙකෙලවරින් පහතට නැමී ගොස් ඇති උඩු රැවුල රූපයට ශාන්ත බවක් ගෙන දෙන අතර මහේශාක්‍ය ලීලාවක් පෙන්නුම් කරයි.
  • දෝතියක් වැනි ඇඳුමකින් යටිකය අලංකාර වේ. බඳ පටිය ඉණට තද වී තිබීම නිසා උදරය ඉදිරියට නෙරා ඇති බව පෙනේ.
  • මෙම ප්‍රතිමාව පොළොන්නරු යුගයේ මූර්ති ශිල්පයේ ප්‍රබුද්ධ කලා ලක්ෂණ ප්‍රකට කරවන්නකි.