Grade 11

Lesson 21 · 7.4.2

ගුප්ත යුගයට අයත් කලා නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

සාරානාත් බුදුපිළිමය

සාරානාත් බුදුපිළිමය
  • ගුප්ත යුගයේ නිර්මාණය වූ මෙම බුදුපිළිමය ඉන්දියාවේ සාරානාත් ප්‍රදේශයෙන් හමු වූ නිර්මාණයකි.
  • සාරානාත් බුද්ධ ප්‍රතිමාව චුනාර් නැමති ගල් විශේෂය භාවිත කරමින් නෙළා ඇත.
  • පද්මාසන ක්‍රමයෙන් වැඩ හිඳින ප්‍රතිමාවේ දෑත් දක්වා ඇත්තේ ධම්මචක්ක මුද්‍රාවෙන් ය.
  • මෙමගින් බරණැස ඉසිපතන මිගදායේ දී බුදුන්වහන්සේ පස්වග තවුසන්ට ප්‍රථම ධර්මදේශනාව පවත්වන අවස්ථාව නිරූපණය වන බව විචාරක මතය යි.
  • බුදුරජාණන්වහන්සේ වැඩ හිඳින ආසනයේ මැද ධර්මචක්‍රයක්, දෙපස මුවන් දෙදෙනාත්, අනෙකුත් මානව රූප සමූහයෙනුත් ඒ බව පැහැදිලි වේ.
  • පිළිමයේ හිසට පිටුපසින් අලංකාර ප්‍රභා මණ්ඩලයක් දැක්වෙන අතර එහි සියුම් ව නෙළන ලද බිංදු රටා හා ලියවැල් මෝස්තරයක් හා ප්‍රභා මණ්ඩලය දෙපස දේවතා රූප දෙකක් වේ.
  • ප්‍රභා මණ්ඩලයට පහතින් පිළිමය දෙපස මකර හා අශ්ව රූප සම්බන්ධ අලංකාර කැටයමකි.
  • උෂ්ණීෂය, අක්බඹරුවන් හිසකෙස්, අඩවන් දෙනෙත්, ලඹ සවන් හා මුහුණින් උපශාන්ත බව හා මහා කරුණාව සහිත මහා පෞරුෂ ලක්ෂණ ඉස්මතු කර දක්වයි.
  • දෙවුර වසා ඇති චීවරය, ශරීරයට ඇළුණු ස්වරූපයෙන් පෙන්වන අතර සියුම් රේඛා කිහිපයකින් චීවරය ඉස්මතු කර දක්වයි.
  • සාරානාත් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ගුප්ත සම්ප්‍රදායට අයත් මෙම සාරානාත් බුද්ධ ප්‍රතිමාව ඉන්දීය ප්‍රතිමා කලාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වෙයි.

අජන්තා චිත්‍ර

අජන්තා චිත්‍ර
අජන්තා චිත්‍ර
අජන්තා චිත්‍ර
අජන්තා චිත්‍ර
අප්සරා රූප
  • ඉන්දියාවේ වයඹ දිග, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි වසෝරා ගඟට මායිම්ව අශ්ව ලාඩමක හැඩය ගත් උස් පර්වතයක අජන්තා ලෙන් පන්තිය පිහිටා ඇත.
  • අජන්තා ලෙන් 29කි. ක්‍රි.පූ. 2 වැනි සියවසේ සිට ක්‍රි.ව. 7 වැනි සියවස දක්වා කාලවකවානුවක වරින්වර නිර්මාණය කළ බවත් ඒ අනුව අජන්තා චිත්‍ර එක පරම්පරාවක අනුග්‍රහය යටතේ නිර්මාණය නොවූ බවත් සැලකේ.
  • වාස්තු විද්‍යාත්මක ව අජන්තා ලෙන් කොටස් දෙකකට වර්ග කළ හැකි ය.
    • 1. චෛත්‍ය ශාලා
    • 2. ආවාස ශාලා
  • වැඩි වශයෙන් බිතු සිතුවම් දක්නට ඇත්තේ මෙම ලෙන් තුළ ය.
  • අජන්තා චිත්‍ර සඳහා වස්තු විෂය වී ඇත්තේ බුද්ධ චරිතය, ජාතක කථා හා ඓතිහාසික සිද්ධීන් ය.
  • අංක 17 දරණ ලෙනෙහි දැකිය හැකි අප්සරා රූප අජන්තා චිත්‍ර අතර සුවිශේෂ නිර්මාණයක් වේ.
  • මෙම රූප, සීගිරි අප්සරා රූපවලට සමාන ලක්ෂණ පෙන්වන බව විචාරක අදහසයි.
  • සීගිරි චිත්‍රවල මෙන් දිගු නෙත්, මඳ සිනහව හා කර්ණාභරණ, ග්‍රීවාභරණ අප්සරා රුවේ අලංකාරය මතු කර පෙන්වයි.
  • අජන්තා චිත්‍ර වියළි බදාමය මත ඇඳීමේ ශිල්ප ක්‍රමයකට නිර්මාණය කර ඇතැයි සැලකේ.
  • චිත්‍ර ඇඳීම සඳහා ලෙන් බිත්තිය සකසා ගෙන ඇත්තේ මැටි, ගොම, දහයියා, පිදුරු, ඝන සත්ත්ව ලොම්, මැලියම් එකට අඹරා සකස් කළ බදාමයක් ආලේප කිරීමෙනි. පසුව ඒ මත මකුළු මැටි දිය කර ආලේප කොට වියළුණු පසු චිත්‍ර ඇඳීම ආරම්භ කොට ඇත.
  • අජන්තා චිත්‍රවල දැකිය හැකි සුවිශේෂ ශෛලීය ලක්ෂණ
    • අවස්ථාවෝචිත ලෙස හැඟීම් ප්‍රකාශනය හා සිද්ධියට අනුරූප වන ලෙස නාට්‍යමය අයුරින් අවස්ථා නිරූපණය කිරීම
    • මිනිස් රූප හා සත්ත්ව රූප නිර්මාණයේ දී ඔවුන්ගේ ගති ස්වභාවය, චලනය, පරිමාණ ලක්ෂණ මෙන් ම ජීවමාන බව මතු කිරීම
    • අඛණ්ඩකථන ක්‍රමය අනුව මුල, මැද, අග සහිතව කථාව රූපණය කර තිබීම
    • ස්වභාවික පරිසරය දිය ඇලි, ගස්වැල්, වනසතුන් සමග චමත්කාර ලෙස දැක්වීම
    • ලෙන් වියන්තල මල් ලියකම්, හස්ති, මානව හා පක්ෂී රූප සම්මිශ්‍රණය කරන ලද නිර්මාණශීලී රටා මෝස්තරවලින් අලංකාර කිරීම
    • ගුරු වර්ණයෙන් රේඛා සටහන් ඇද පසුව වර්ණ යෙදීම
    • චිත්‍ර වර්ණ කිරීම සඳහා රතු, කහ, නිල්, කළු හා කොළ වර්ණ භාවිතය
    • තේමාව තීව්‍ර කිරීම සඳහා අඳුරු වර්ණ සහ දීප්තිමත් වර්ණ භාවිතය

පද්මපානි බොධිසත්ව රුව

පද්මපානි බොධිසත්ව රුව
පද්මපානි බොධිසත්ව රුව
  • අජන්තා චිත්‍ර අතර ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස සලකනු ලබන්නේ අංක 01 ලෙනෙහි ඇති පද්මපානි බෝධිසත්ව රූපය යි.
  • මෙයින් සිද්ධාර්ථ කුමරු සමග වම්පසින් යශෝධරා දේවිය ද නිරූපණය කරන බව විද්වත් අදහසයි. චිත්‍රයේ සෙසු රූප සම්පිණ්ඩනයේ දී අහසේ වීණා වාදනය කරන දෙවියන් ද වන අතර ගස් උඩ වඳුරන් කිහිප දෙනෙකු ද නිරූපණය වේ.
  • සෙසු රූපවල ප්‍රමාණයට වඩා විශාල ව දක්වා ඇති බෝසත් රූව ත්‍රිභංග හැඩයෙන් යුක්ත ය.
  • මඳ සිනාව සහිත ව මුහුණෙහි ගැඹුරු හැඟීම් ප්‍රකාශනයෙන් යුතු, අධ්‍යාත්මික ගුණයෙන් පිරිපුන්, තාරුණ්‍යය විදහා පෙන්වන නිර්මාණයකි.
  • දකුණතින් නිල් මහනෙල් මලක් දරා සිටින අතර අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසී සිටියි.
  • ආභරණ අතර කුණ්ඩලාභරණ, අත්වළලු හා සියුම් කැටයමින් අලංකාර කර ඇති දිගටි ඔටුන්න (ශිර්ෂ පලඳනාව) විශේෂිත ය.
  • වර්ණ ගැන්වීමේ දී ප්‍රධාන රූපය වන පද්මපානි රූපය දීප්තිමත් කහපාටකින් මතුකර සෙසු චරිත හා හැඩ අඳුරු වර්ණ සහිත පසුබිමකින් මතු කර ඇත.
  • ගුප්ත කලා ලක්ෂණ පෙන්වයි.

බුදුරජාණන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම

බුදුරජාණන්වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම
  • කිඹුල්වත් පුර පිඬු සිඟා වඩින බුදුරජාණන්වහන්සේ දැක්වෙන චිත්‍රය අජන්තා ලෙන් අංක 17 හි දැකිය හැකි ය.
  • නෙළුම් මලක් මත වැඩ සිටින බුදු රජාණන් වහන්සේ ගේ හිසට ඉහළින් ඡත්‍රයක් දරා සිටින දේවතා රුවක් නිරූපණය කර ඇත.
  • මාලිගයේ සිට යශෝධරා දේවිය රාහුල කුමරුට ඔහුගේ පියාණන් හඳුන්වා දෙන ආකාරය දැක් වේ.
  • බුදුරජාණන්වහන්සේ ගේ රුව විශාලව ද, අවශේෂ රූප කුඩාවට ද දක්වා තිබීම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර භාවය පෙන්නුම් කිරීමට ගත් උත්සාහයක් ලෙස දැක්විය හැකි ය.
  • පර්යාලෝක ලක්ෂණ සහිත ව මෙම චිත්‍රය නිර්මාණය කර ඇතැයි ද අනුමාන කෙරේ.
  • ගුප්ත කලා ලක්ෂණ පෙන්වයි.