නිශ්ශංක ලතා මණ්ඩපය
- ලක්දිව ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වූ නිර්මාණයක් සේ සැලකෙන මෙම ගොඩනැගිල්ල ක්‍රි.ව. 12 වැනි සියවසට (ක්‍රි.ව. 1187-1196 අතර කාලයට) අයත් වේ.
- මෙම නිර්මාණය පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද්දකි.
- ගල් කණු දක්වා ඇති මණ්ඩපය සෘජුකෝණාස්රාකාර (ආයත චතුරශ්රාකාර) හැඩයකින් යුක්තය.
- අනුරාධපුරයේ ජේතවනාරාමය අසල ඇති නිර්මාණවලට සමාන අයුරින් ගල් ගරාදි වැටකින් වට කර ඇත.
- මෙම මණ්ඩපය මධ්‍යයෙහි කුඩා බුබ්බුලාකාර දාගැබක් හා එයට පිවිසීම සඳහා එක් පසක වන දොරටුවකි. දාගැබ පාදමේ වාඩි වී වන්දනාවේ යෙදෙන මානව රූප කැටයම් සහිත ය.
- මෙම ගොඩනැගිල්ලේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණය වන්නේ අලංකාර කුලුනු නිර්මාණයන් ය. එක කණුවක උස අඩි 07කි.
- මෙම කුලුනු එතෙක් දැකිය හැකි සෘජු බවෙන් යුතු කුලුනුවලින් වෙනස් ව සොබා දහමේ රිද්මයානුකූල හැඩතල අනුව නිර්මාණය කිරීමක් වේ.
- නෙළුම් ශාකයේ අංග රිද්මයානුකූලව භාවිත කර මෙම කුලුනු නිර්මාණය කර ඇත.
- කුලුනු ශීර්ෂය අඩක් පිපුණු නෙළුමක ස්වරූපයට නිර්මාණය කර ඇත.
- ලක්දිව ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වූ නිර්මාණයක් සේ සැලකෙන මෙම ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජතුමා ධර්මය ශ්‍රවණය කිරීම, දළදා වහන්සේ වන්දනා කිරීම හා පිරිත් ශ්‍රවණය කිරීම වැනි ආගමික කටයුතු සඳහා ඉඳි කළ බව එහි ඇති සෙල්ලිපියක සඳහන් වේ.
පොළොන්නරුව වටදාගේ
- පොළොන්නරු දළදා මළුවට ඇතුළු වූ විට වම්පසින් වටදාගෙය හෙවත් වෘත්තාකාර ධාතු මන්දිරය දැකිය හැකි ය.
- දළදා මළුවේ පිහිටි ගල් පොත නම් සෙල් ලිපියේ සඳහන් වන පරිදි පොළොන්නරු වටදාගෙය නිශ්ශංකමල්ල රජතුමාගේ නිර්මාණයක් ලෙස සලකන අතර එය පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් වශයෙන් ද අනුමාන කෙරේ.
- අව් වැසි ආදියෙන් ආරක්ෂා කිරීම සඳහා කුඩා ස්තූපය වටා තැනූ ගෙය වටදාගේ ලෙස හඳුන්වන අතර චේතියඝර, ථූපඝර, වට්ටධාතුගෙය ආදි නම්වලින් ද මෙම ගොඩනැගිල්ල හඳුන්වයි.
- වටදාගෙයට පිවිසීමේදී ඇති පළමුවැනි සලපතළ මළුවට පසුව ඇති දෙවැනි සලපතළ මළුව මධ්‍යයෙහි දාගැබකි. සලපතළ මළු මාලක යන නමින් ද හඳුන්වන අතර මාලක දෙකෙහි ම බිම ගල් අතුරා ඇත.
- පළමු සලපතළ මළුවට පිවිසීම සඳහා එක් දොරටුවක් හා දෙවන සලපතළ මළුවට පිවිසීමට දොරටු සතරක් ද වේ. මෙම සෑම දොරටුවක් ම කොරවක් ගල්, සඳකඩපහණ, මුරගල් හා පියගැටපෙළකින් අලංකාර වූ ද්වාර මණ්ඩප සහිතව නිර්මාණය කර ඇත.
- ඇතුළු මළුව වටා පෙති සතරේ අලංකාර බිනර මල් රටාවෙන් යුත් ගල් බැම්මකි.
- පොළොන්නරු යුගයේ නිර්මාණය කළ කලාත්මක සඳකඩපහණ සහ නාග රාජ රූපය සහිත මුරගල දැකිය හැකි වන්නේ ඉහළ සලපතළ මළුවට පිවිසීමට ඇති වටදාගෙයි උතුරු දොරටුවේ ය.
- සෑම පියගැටපෙළකම සිරස් මුහුණතෙහි පියගැටපෙළ දරා සිටින සේ සිත්ගන්නා සුලු වාමන රූප කැටයම් කර ඇත.
- චෛත්‍ය සතර පැත්තේ සතරදිශාවට මුහුණලා ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුදු පිළිම සතරකි.
- පොළොන්නරු යුගයේ බුදු පිළිම අතර සුවිශේෂ නිර්මාණ වන මේවායෙහි චීවරය රැළි රහිත වන අතර හිසකෙස් අක්බමරු රහිත ව දක්වා ඇත.
ශිව දේවාලය අංක 01
- 13 වැනි සියවසේ ඉදි වූ හින්දු දේවාලයක් ලෙස සැලකේ. මෙම දේවාලය දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරන බව විද්වත් අදහසයි.
- හින්දු ගෘහනිර්මාණ ලක්ෂණ වන මණ්ඩප, ගර්භගෘහ හා අන්තරාල යනාදියෙන් මෙය සමන්විත වේ.
- මෙම දේවාලයේ ඇති විශේෂත්වය වන්නේ බදාම භාවිත නො කොට නියමිත පරිද්දෙන් කපා කොටස් කරන ලද පාෂාණයන් ඒකාබද්ධ කර ඇති ආකාරයයි.
- එම කපා සකස් කර ගත් කළුගල් මගින් බිත්තියේ බාහිර හැඩ මතු කර ඇති අතර එම ගල් බිත්ති මත බොරදම් හා විමාන හැඩ දක්නට ඇත. කුලුනු සඳහා නෙළුම් මල් හැඩ යොදා ගෙන ඇත.
- මෙහි ශිඛරය නිර්මාණය කර ඇත්තේ ගඩොලින් බව ශේෂ ව ඇති සාධක මගින් පෙන්නුම් කරනු ලැබේ.
- ශිව දෙවියන් ඇදහීම උදෙසා නිර්මාණය කරන ලද ලෝකඩ මූර්ති රැසක් මෙම දේවාලයෙන් හමු වී ඇත.
ශිව දේවාලය අංක 02

- පොළොන්නරුව පුදබිමේ හමුවන අංක 02 ශිවදේවාලය 10 වන සියවසේ චෝල පාලන සමයේ ඉදි කරන ලද්දක් ලෙස සැලකේ.
- පොළොන්නරු යුගයට අයත් ඉපැරණි ම ශිව දේවාලය වන්නේ මෙයයි.
- මෙම දේවාලය වානවන් - මා දේවී - ඊශ්වරම් - උදෙයියාර් (ඉසාරමුදියර්) යනුවෙන් එහි ඇති ශිලා ලේඛනයක සඳහන් වේ. මෙය මෙකල සොලී රාජ්‍යයේ අග රජ වූ මහරාජරාජගේ මෙහෙසිය සිහිවීම පිණිස ගොඩනංවන ලද්දකි.
- හැඩගන්වන ලද පාදමක් මත ගොඩනගා ඇති මෙම දේවාලයේ පිටස්තර බිත්ති අන්තර් සම්බන්ධතා සහිත ස්ථම්භයන්ගෙන් අලංකාර කර ඇත. මෙම ස්ථම්භවලට ඉහළින් පිරමීඩාකාර පියස්සකි. එම පියස්ස මහල් (කොටස්) තුනකින් සමන්විත විමානයකින් හා එය වසා සිටින අටපට්ටම් ශිඛරයකින් සමන්විත වෙයි.
- මෙම දේවාලය ඉදිකිරීමේ දී බදාම අවම වශයෙන් භාවිත කොට නියමිත පරිද්දෙන් කපා කොටස් කරන ලද පාෂාණයන් එකට එක්වන සේ සවිකර ඇත.
- දකුණු ඉන්දීය චෝල ගෘහ නිර්මාණ ලක්ෂණ හොඳින් නිරූපණය වන මෙහි අභ්‍යන්තර මණ්ඩප, අන්තරාලය හා ගර්භ ගෘහය යනාදි කොටස්වලින් යුතු වේ. ගර්භ ගෘහය තුළ ශෛලමය ශිව ලිංගයක් තැන්පත් කර ඇත.
- මෙම ශිව දේවාලයෙහි පුරාවිද්‍යා කැනීම්වල දී නටරාජා හා පාර්වති රූප ඇතුළු හින්දු ප්‍රතිමා රැසක් ද හමු වී ඇත.














