Grade 11

Lesson 01 · 6.1.1

මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර ශිල්පියාගේ නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර (1883 - 1983)

  • මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර 20 වන සියවස මුල් භාගයට අයත් ලාංකේය ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී (Academic Realism) චිත්‍ර කලාවේ පුරෝගාමී ව කටයුතු කළ චිත්‍ර ශිල්පියෙකි.
  • වර්ෂ 1883 දී ගාල්ල දොඩන්දූවේ උපත ලද මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර (ඒබ්‍රහම් ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි සුරියආරච්චි අමරසේකර) පළමු ව නිර්මාණකරණයට පිවිසෙන්නේ කාටුන් චිත්‍ර ශිල්පියකු වශයෙනි.
  • බ්‍රිතාන්‍ය පාලකයින්ගේ අනුග්‍රහය යටතේ ස්ථාපිත කළ ලංකා කලා සංගමයේ (Ceylon Society of Arts) පුරෝගාමි ශිල්පියකු ලෙස කටයුතු කර ඇත.
  • ශ්‍රී ලංකාව යටත් විජිතයක් ව පැවති වකවානුවක බ්‍රිතාන්‍යයෙන් පැමිණි ශිල්පීන්ගෙන් ලබා ගත් ශාස්ත්‍රාලයීය චිත්‍ර කලා ආභාස, ලංකා කලා සංගමයේ ශිල්පීන්ගේ නිර්මාණවල විය.
  • මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකරගේ චිත්‍ර නිර්මාණවල බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී චිත්‍ර කලා ශෛලී ලක්ෂණ පෙන්වයි.
  • ජීව රූප, තාත්වික රූප සහ භූමි දර්ශන ඇඳීමෙහි දක්ෂයකු වන ඔහු චිත්‍ර නිර්මාණය කිරීම සඳහා දිය සායම් හා තෙල්සායම් යන වර්ණ මාධ්‍ය දෙවර්ගය ම භාවිත කර ඇත.
  • මිනිස් රූප සම්පිණ්ඩන චිත්‍රවල බ්‍රිතාන්‍ය ශාස්ත්‍රාලයීය චිත්‍රකලාවේ ප්‍රමුඛතම ලක්ෂණයක් වූ පර්යාලෝක රීතිය පදනම් වී තිබීම දැකිය හැකි ය.
  • ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණ භාවිතය සමග ආලෝකය හා අඳුර පිළිබඳ ශාස්ත්‍රාලයීය ඥානය වන කියරොස්කූරො (Chiaroscuro) වර්ණ කිරීමේ ලක්ෂණ ඔහුගේ නිර්මාණ තුළ දැකිය හැකි විය.
  • මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර විසින් කරන ලද නිර්මාණ කිහිපයක් ද පහත සඳහන් වේ.

Selected works

  • • විරැකියාව
  • • යකැදුරාගේ දියණිය
  • • පූස් පැටවා
  • • රීඩ් මාවත (දිය සායම්)
  • • රාජ්‍ය නායකයන්ගේ උඩුකය චිත්‍ර (ආලේඛ්‍ය චිත්‍ර)

යකැදුරාගේ දියණිය

යකැදුරාගේ දියණිය
  • වර්තමානයේ කොළඹ ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති යකැදුරාගේ දියණිය නමැති සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍ය භාවිතයෙන් කරන ලද නිර්මාණයක් වේ.
  • මෙම චිත්‍රය තුළින් නිරූපණය කර ඇත්තේ යකැදුරුගේ දියණිය යි. ඇය බලි ශාන්ති කර්මවල ඇඳුම් අයිත්තම් ඇඳ පැලඳ සිටින අතර ක්ෂණික ව බියට පත් වූ ආකාරය ද දක්වයි.
  • අභ්‍යන්තර හැඟීම් නිරූපණය කරන යථාර්ථවාදී ශෛලීය ලක්ෂණ හා විස්මයජනක, ගූඪ තේමාවක් වස්තු විෂයය කරමින් නිර්මාණයේ ප්‍රකාශනය ගොඩනඟා ඇත.
  • චිත්‍රයේ නිරූපිත ගිනි සිළුව මෙන් ම ඇගේ මුහුණේ හැඟීම් හා සැසඳෙන ලෙස නිර්මාණය කර ඇති වෙස් මුහුණත්, විශාල හෙවනැල්ලත් සමස්ත නිර්මාණයේ ප්‍රකාශනශීලීත්වය හා නාට්‍යානුසාර බව තීව්‍ර කරවයි.
  • රූප හා වර්ණ අර්ථාන්විත ව භාවිත කරමින් මෙහි පෙරබිම මත ප්‍රධාන රූපය වන යකැදුරු දියණිය හා පසුබිම සඳහා නිවසේ අභ්‍යන්තර බිත්තියක සීමාව නිරූපණය කිරීම දැකිය හැකි ය.
  • නිරූපිත වර්ණමාලාව කියරොස්කූරො (Chiaroscuro) ශිල්ප ක්‍රමය අනුව ආලෝකය හා අඳුර මනාලෙස මතු කර දක්වන ආකාරය දැකිය හැකි වේ.
  • යොදා ඇති වර්ණ ඒකවාර්ණික ලක්ෂණ ඇති සම්භාව්‍ය වර්ණමාලාවක් වේ.
  • වර්ණ භාවිතය තුළ අඳුර හා ආලෝකය හසුරුවනු ලැබ ඇත්තේ චිත්‍රයේ සමස්ත අදහස වඩාත් ඉස්මතු කරවන ලෙසිනි.

විරැකියාව (Unemployed)

විරැකියාව (Unemployed)
  • මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර විසින් විරැකියාව නමින් නම් කර ඇති මෙම සිතුවම වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ වඩුවාගේ ගෙදර යනුවෙනි.
  • මෙම සිතුවම කොළඹ ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මිත කැන්වස් නිර්මාණයකි.
  • මෙම සිතුවමෙන් වඩු ගෙදර ඇති දරිද්‍රතාව මතු කිරීම සඳහා ඉතා මැනවින් මානව රූප හා වර්ණ හැසිරවීම දැකිය හැකි ය.
  • ජනේලයෙන් නිවසට ලැබෙන ආලෝකය ඉතා ස්වභාවික ලෙස මතු කර දක්වා ඇත. එම ආලෝකයෙන් වඩුගෙදර නිවැසියන්ගේ මුහුණුවල ජනනය වන හැඟීම් ඉතා මැනවින් නිරූපණය කර ඇත.
  • ජනේල කවුලුවෙන් දක්වන ආලෝකයේ ස්වභාවය, කියරොස්කූරො (Chiaroscuro) වර්ණ ලක්ෂණවලට අනුව ත්‍රිමාන ලක්ෂණ සහිත ව භාවිත කර තිබීම දැකිය හැකි ය.
  • සිතුවමේ දැක්වෙන වර්ණ ඒකවාර්ණික ලක්ෂණ ඇති සම්භාව්‍ය වර්ණමාලාවක් වේ.
  • ශාස්ත්‍රාලයීය යථාර්ථවාදී ශෛලීය ලක්ෂණ අනුව යමින් මානව රූපයේ සුන්දරත්වය මෙන්ම අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශනයත් මෙම නිර්මාණයෙන් මනාව පිළිබිඹූ කෙරේ.
  • නිර්මාණ අවකාශය මත ගැඹුර දක්වමින් පර්යාලෝක ලක්ෂණ සහිත ව පෙරබිම, මැදබිම හා පසුබිම යන තල, පර්යාලෝක ලක්ෂණවලට අනුගත වෙමින් වර්ණ හා හැඩතල සම්පිණ්ඩනය කර ඇත.