Grade 11

Lesson 03 · 6.1.3

ජී. එස්. ප්‍රනාන්දු ශිල්පියාගේ නිර්මාණ අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

ජී. එස්. ප්‍රනාන්දු (1904-1990)

  • වර්ෂ 1904 දී බෙන්තර සුද්දාගොඩ උපත ලැබූ ජී. එස්. හෙවත් ගම්වාරි සරත් ප්‍රනාන්දු දිය සායම් චිත්‍ර කලාවේ ශිල්පීය ප්‍රවණතා පෙන්නුම් කළ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකි.
  • රිචඩ් හෙන්රිකස් යටතේ චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යාපනය ලැබූ ඔහු පළමුව බිතුසිතුවම් කලාවට ප්‍රවේශ වූ චිත්‍ර ශිල්පියෙක් ද වේ.
  • පසුකාලීනව ජී. එස්. ප්‍රනාන්දු ශිල්පියාට එම්. සාර්ලිස් හා මුදලිඳු අමරසේකර වැනි ශිල්පීන්ගෙන් ද චිත්‍ර ශිල්පය හැදෑරීම නිසා දිය සායම් මාධ්‍යය පිළිබඳ අනන්‍යතාවක් සහිත නිර්මාණ කිරීමට හැකි විය.
  • කාටූන් චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණතාවක් පෙන්වූ ජී. එස්. ප්‍රනාන්දු ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව නිර්මාණය කළ ශිල්පියා ද වේ.
  • වෙළෙඳ චිත්‍ර ශිල්පියකු ලෙස ඔහු පෝස්ටර්, ලේබල් හා පොත් පිටකවර නිර්මාණය කිරීමට ද දායක වී ඇත.
  • දිය සායම් මාධ්‍ය ශිල්ප ක්‍රමය අනුව ඔහු විසින් නිර්මාණය කරන ලද චිත්‍ර යුරෝපීය ශාස්ත්‍රාලයීය චිත්‍ර කලා ආභාසය සහිතව, ඔහුටම ආවේණික ස්වභාවිකවාදී චිත්‍ර කලා ශෛලියක් අනුව නිර්මාණය කර තිබීම දැකිය හැකි ය.
  • ඔහුගේ දිය සායම් නිර්මාණ සඳහා විශේෂයෙන්ම යුරෝපීය භූමිදර්ශන සිතුවම්වල ආභාසය ලැබී ඇත.
  • ශ්‍රී ලාංකේය පරිසර ස්වභාවය ඉතා අලංකාර ලෙස මතු කිරීම ඔහුගේ නිර්මාණවල කැපී පෙනෙන ලක්ෂණයකි.
  • ජී. එස්. ප්‍රනාන්දු විසින් නිර්මාණය කරන ලද පහත දැක්වෙන දිය සායම් මාධ්‍ය නිර්මාණ විශිෂ්ට නිර්මාණ වශයෙන් සැලකේ.

Selected works

  • • උළු පෝරණුව
  • • ගඩලාදෙණිය

ජී.එස් ප්‍රනාන්දුගේ දියසායම් මාධ්‍ය නිර්මාණවල ශෛලීය ලක්ෂණ හා චිත්‍ර මූලිකාංග සංරචන ක්‍රමවේද පොදුවේ මෙසේ හඳුනාගත හැකි ය.

  • චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය
  • මිනිස් ඉරියව් ලාලිත්‍යයෙන් හා හැඟීම් ප්‍රකාශනයෙන් යුතු වීම
  • ත්‍රිමාන ලක්ෂණ සහිත ව දීප්තිමත් වර්ණමාලාවක් භාවිත කිරීම

උළු පෝරණුව

උළු පෝරණුව
  • ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති මෙම සිතුවම යුරෝපීය ස්වභාවිකවාදී ශෛලිය දැක්වෙන නිර්මාණයකි.
  • කඩදාසි මත දිය සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණයකි.
  • චිත්‍රයේ දක්වන උළු පෝරණුව හා අවට පරිසරය චිත්‍රණය කිරීමේදී දීප්තිමත් වර්ණ මාලාවක් ත්‍රිමාන ලක්ෂණ සහිතව දිය සායම් පදාස ක්‍රමයට ප්‍රකාශනාත්මකව දක්වා ඇත.
  • තලය මත රූප සංරචනය කිරීමේදී පෙරබිම, මැදබිම හා පසුබිම මත රූප පිහිටුවමින් චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ සහිතව නිරූපණය කර ඇත.
  • මෙම නිර්මාණ සඳහා ස්වභාවිකවාදී ශෛලීය ලක්ෂණ හා යුරෝපීය භූමිදර්ශන සිතුවම්වල ආභාසය ලැබී ඇති බව දැකිය හැකි ය.

ගඩලාදෙණිය

ගඩලාදෙණිය
  • කොළඹ ජාතික කලාභවනේ නිත්‍ය ප්‍රදර්ශනයට තබා ඇති නිර්මාණයකි.
  • යුරෝපීය ස්වභාවිකවාදී ශෛලිය දැක්වෙන මෙම සිතුවම දිය සායම් මාධ්‍යයේ නිර්මාණයකි.
  • ශාස්ත්‍රාලයීය චිත්‍ර කලාවේ සංරචන සිද්ධාන්ත ලක්ෂණ වන ගැඹුර නිරූපණය කරන පර්යාලෝක ලක්ෂණ හා ත්‍රිමාන ලක්ෂණ භාවිතය මෙම නිර්මාණයේ ද දැකිය හැකි ය.
  • තලය මත රූප සංරචනය කිරීමේදී පෙරබිම, මැදබිම හා පසුබිම මත රූප පිහිටුවමින් චිත්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය කර ඇත.
  • දීප්තිමත් වර්ණ මාලාවක් ත්‍රිමාන ලක්ෂණ සහිතව දිය සායම් පදාස ක්‍රමයට භාවිත කර ඇත.
  • මෙම නිර්මාණ සඳහා ද ස්වභාවිකවාදී ශෛලීය ලක්ෂණ හා යුරෝපීය භූමිදර්ශන සිතුවම්වල ආභාසය ලැබී ඇති බව දැකිය හැකි ය.