Grade 11

Lesson 19 · 7.3.1

මහනුවර යුගයට අයත් පහතරට විහාර බිතු සිතුවම් අගයමු

Browse lessonsTap to open ⌄
On this lessonJump to section ⌄

කියවීම් පත්‍රිකාව

  • මහනුවර යුගයේ පහතරට චිත්‍ර කලා ලක්ෂණ සහිත බිතු සිතුවම් දිවයිනේ බස්නාහිර හා දකුණු මුහුදුබඩ ප්‍රදේශ කේන්ද්‍රීය ව හමු වේ.
  • 16 වන ශත වර්ෂයෙන් පසු මෙම ප්‍රදේශ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන විදේශීය පාලනයට නතුවීම හේතු කොට ගෙන මහනුවර යුගයේ චිත්‍ර කලාවේ ශෛලීය ලක්ෂණ වෙනස් වී බටහිර සංස්කෘතික ලක්ෂණ සහිත ව නිරූපණය වීම දැකිය හැකි ය.
  • දහනවවන සියවස අග භාගයේ ප්‍රචලිත වී හා පහතරට ප්‍රදේශවල ව්‍යාප්ත වූ මෙම චිත්‍ර ශෛලිය සඳහා විදේශීය ආභාස හා සමකාලීන සමාජ පසුබිම බලපා ඇත.
  • මෙම පහතරට විහාර චිත්‍ර ඇඳීම සඳහා භාවිත කර ඇත්තේ වියළි බදාම මත සිතුවම් ඇඳීමේ ශිල්ප ක්‍රමයකි.
  • ප්‍රධාන වශයෙන් බෞද්ධාගමික සිදුවීම් සහ බෞද්ධ ජාතක කථා වස්තු විෂය වී තිබේ.
  • පහතරට විහාර චිත්‍ර ශෛලියේ දැකිය හැකි පොදු ලක්ෂණ
    • තීරු චිත්‍ර සංරචනය, අඛණ්ඩකථන ක්‍රමය හා පාර්ශ්වදර්ශී රූප නිර්මාණය
    • රූප වටා නිමාව දක්වන ප්‍රශස්ත මටිටමින් යුතු සියුම් රේඛාකරණය
    • සමස්ත සංරචනය තුළ පරිමාණ රීතීන් නොසැලකීම
    • පර්යාලෝක රීතීන් පෙන්වීමට උත්සාහ කර තිබීම
    • පසුබිම අවකාශය පිරවීම සඳහා විවිධ අලංකරණ සැරසිලි මෝස්තර භාවිතය
    • වස්ත්‍රාභරණ අලංකාරව හා විස්තරාත්මක ව දක්වීම
    • යුරෝපීය ලක්ෂණ සහිත වාස්තුවිද්‍යා, ගෘහ භාණ්ඩ හා සංගීත භාණ්ඩ, ඇඳුම් පැලඳුම් වැනි අංග දක්වීම
    • වර්ණ සඳහා කහ, නිල්, කොළ, රතු, අළු, කළු, සුදු ආදී වර්ණ භාවිතය හා වර්ණවල තද හා ලා පැහැය සමග ඉතා සියුම් ව මතු කරන ත්‍රිමාන ලක්ෂණ දක්වීම
    • බහුල වශයෙන් පසුබිම සඳහා රක්ත වර්ණයට වඩා අළු, කළු හා තද නිල් වැනි වර්ණ භාවිතය

කතළුව විහාර චිත්‍ර

  • දකුණු පළාතේ ගාල්ල නගරයට ආසන්නව පිහිටා ඇති කතළුව විහාර බිතු සිතුවම් දහනව වන සියවසේ අගභාගයට (ක්‍රි.ව 1886) අයත් නිර්මාණ ලෙස සැලකේ.
  • මෙම විහාරයේ බිතු සිතුවම් නිර්මාණය කළ ශිල්පීන් වශයෙන් කඩොල්ගල්ලේ මහ සිත්තරා හා පොඩ්ඩ සිත්තරා යන ශිල්පීන් හඳුන්වා ඇත.
  • පහතරට විහාර බිතුසිතුවම් සඳහා විදේශීය ආභාස හා සමකාලීන සමාජ පසුබිම බලපා ඇති ආකාරය දක්වන හොඳම නිදසුනක් වශයෙන් මෙම විහාර සිතුවම් සැලකේ.
  • කතළුව විහාරයට අයත් සිතුවම්වල වස්තු විෂය පහත ලෙස වර්ග කළ හැකි ය.
    • බෞද්ධ ජාතක කථා (වෙස්සන්තර, මහා සුතසෝම, තේමීය, චුල්ලපදුම)
    • බුද්ධ චරිතයට සමකාලීන සමාජ සිදුවීම් (මහාධන සිටුවරයාගේ කථාව, පටාචාරා කථාව, නන්දීය උපාසක කථා වස්තුව)
  • එම නිර්මාණවලට අමතර ව සූවිසිවිවරණය, අපාය දර්ශන, වියන්තල සිතුවම් හා දිව්‍යලෝක දර්ශන සහිත සිතුවම් ද වේ.

මහාධන සිටුවරයාගේ කථාව සංගීතය හා විනෝද වීම

මහාධන සිටුවරයාගේ කථාව සංගීතය හා විනෝද වීම
  • කතළුව විහාරයේ දැකිය හැකි චිත්‍රයක් වන මෙයින් මහාධන සිටුවරයාගේ නිවසේ පැවති නැටුම් හා ගැයුම් සංදර්ශනයක අවස්ථාවක් නිරූපණය කෙරේ.
  • මෙහි දැක්වෙන සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ යුරෝපීය ක්‍රමයට ඇඳ පැලඳගෙන බටහිර සංගීත භාණ්ඩ වාදනය කරමින් සිටිති.
  • පසුබිමෙන් දැක්වෙන ගොඩනැගිල්ල යුරෝපීය ලක්ෂණයන්ගෙන් යුතු වේ.
  • මෙම සිතුවමේ නිරූපිත ඇඳුම් පැලඳුම්, සංගීත භාණ්ඩ, ගෘහනිර්මාණ අංග හා ගෘහභාණ්ඩ මෙන්ම විනෝදාංශ ද එකල ලාංකේය සිත්තරුන් දුටු යුරෝපීය ලක්ෂණවලට අනුගත වූ ඒවා වේ.
  • අඛණ්ඩ කථන ක්‍රමයට අඳින ලද කථාවක එක් කොටසක් මෙයින් දැක්වේ.
  • සම්පූර්ණ තලය භාවිත කොට සිද්ධිය සංරචනය කොට තිබේ.
  • රේඛා හා හැඩතල යොදා ගනිමින් සංකීර්ණ ලෙස අවකාශය පුරවා ඇත.
  • කහ, කළු, සුදු, නිල්, රතු, කොළ සහ දුඹුරු යන වර්ණ සහ ඒවායේ ප්‍රභේද භාවිත කොට සිතුවම් වර්ණ කොට තිබේ.
  • රූප වටා කළු පැහැති බාහිර රේඛා යොදා ඇත.
  • පසුබිම වර්ණ කිරීම සඳහා කහ, කළු, දුඹුරු යන වර්ණ භාවිත කොට ඇත.
  • ත්‍රිමාන ලක්ෂණ පෙන්වීම සඳහා සියුම් ලෙස වර්ණ ප්‍රභේද දැක්වීමට ගත් උත්සාහය දැකිය හැකි ය.
  • සමස්ත චිත්‍රයේ ශෛලිගත ආකාරයට වඩා ජීවි බවක් ප්‍රකාශනය වේ. එසේ ම වර්ණ පැතලි ව දැක්වීමට වඩා වර්ණ පදාස දැක්වීම ද දැකිය හැකි ය.

සුතසෝම ජාතකය රජමැදුරේ කාන්තාවෝ

සුතසෝම ජාතකය රජමැදුරේ කාන්තාවෝ
  • කතළුව විහාරයේ දැකිය හැකි මෙම සිතුවමින් බ්‍රහ්මදත්ත රජුගේ මාළිගාවේ සිටින කාන්තාවන් දෙදෙනකු පිලිසඳරේ යෙදී සිටිනු දැක්වේ. මින් රජ බිසව හා ඇයට පවන් සලන සේවිකාව නිරූපණය කෙරේ.
  • අඛණ්ඩ කථන ක්‍රමයට අඳින ලද සිතුවමක එක් සිද්ධියක් මෙයින් දැක්වේ. එහි රූප පාර්ශ්වදර්ශී ස්වරූපයෙන් හා ශෛලිගත ව නිරූපණය කර ඇත.
  • මෙහි නිරූපණය වන කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් විසිතුරු මල් මෝස්තර හා හැඩතලවලින් සරසා තිබේ.
  • මාළිගාව යුරෝපීය ක්‍රමයට සරසා ඇත. විශේෂයෙන් යුරෝපීය ලාම්පු, ගෘහය අලංකරණය සඳහා යොදා ගෙන ඇත.
  • කහ, කළු, සුදු, නිල්, රතු, කොළ සහ දුඹුරු යන වර්ණ සහ ඒවායේ ප්‍රභේද භාවිත කොට සිතුවම් වර්ණ කොට තිබේ.
  • කළු පැහැති බාහිර රේඛා රූප වටා යෙදීමට මෙන් ම චිත්‍රයේ විස්තරාත්මක බව දැක්වීම සඳහා භාවිත කර ඇත.
  • රූප එකම තලයක පිහිටුවා තිබීම දැකිය හැකි ය.
  • පසුබිම සඳහා කළු වර්ණය භාවිතය හා පසුබිම් අවකාශය පිරවීම සඳහා විවිධ සැරසිලි මෝස්තර භාවිතය මෙහි සුවිශේෂ ලක්ෂණ වේ.

කරගම්පිටිය විහාර චිත්‍ර

  • බස්නාහිර පළාතේ දෙහිවල නගරයට ආසන්නව පිහිටා ඇති සුබෝධාරාමය හෙවත් කරගම්පිටිය විහාරය පහතරට විහාර චිත්‍ර ශෛලීය ලක්ෂණ සහිත නිර්මාණවලින් සමන්විත විහාරයකි.
  • මෙම විහාරයේ ඉතිහාසය පොළොන්නරු යුගයේ පළමු වැනි පරාක්‍රමබාහු හා මහනුවර යුගයේ රාජාධිරාජසිංහ රජුගේ කාලය (ක්‍රි.ව 1795) දක්වා අයත් වේ.
  • මෙහි ඇති පහතරට විහාර චිත්‍ර ශෛලීය ලක්ෂණ සහිත බිතු සිතුවම් 19 වැනි සියවස අග භාගයට (ක්‍රි.ව 1897) අයත් නිර්මාණ ලෙස සැලකේ.
  • කරගම්පිටිය විහාරයේ සිතුවම් අතර බෞද්ධ ජාතක කථා, බුද්ධ චරිතයේ සිදුවීම්, අපාය දර්ශන, සූවිසි විවරණය හා දිව්‍යලෝක දර්ශන දක්වන සිතුවම් දැකිය හැකි වේ.
  • කරගම්පිටිය විහාර චිත්‍රවල ආවේණික වූ පොදු ලක්ෂණ
    • ස්වාභාවික වස්තු සඳහා ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණ භාවිත කිරීම
    • වලාකුළු හා ජලය සඳහා “ඉන්ඩිගෝ” නිල භාවිත කිරීම හා නිල් වර්ණය සමග සුදු හා කළු වර්ණ මිශ්‍ර කර ත්‍රිමාන ලක්ෂණ මතු කර දැක්වීම
    • තද රතු, තද කොළ, කළු සමග දුඹුරු වර්ණ භාවිතය
    • අවශ්‍ය අවස්ථාවන්හි ත්‍රිමානත්වය මතුවන ලෙස වර්ණ ප්‍රභේද යොදා ගැනීම

පෙළඹවීම (මාර දූවරු)

පෙළඹවීම (මාර දූවරු)
  • කරගම්පිටිය විහාරයේ දැකිය හැකි මෙම සිතුවමින් බුද්ධත්වය ලැබීම වැළැක්වීම සඳහා පෙළඹවීමට පැමිණි මාරයාගේ දූවරු වන තන්හා, රතී හා රගා යන මරඟනන් නිරූපණය කෙරේ.
  • මාර දූවරු සංගීත භාණ්ඩ වාදනය කරමින් පවත්වන සංදර්ශනයක ස්වරූපයක් මෙ මගින් පිළිබිඹූ කෙරේ.
  • මෙම මාර දූවරු හැඳ සිටින ඇඳුම් පැලඳුම් හා ඔවුන් අත දරා සිටින සංගීත භාණ්ඩ 19වන සියවසට අයත් ලාංකේය සමාජයේ භාවිත දේවල් ලෙස සැලකේ.
  • පහතරට චිත්‍ර කලාවේ පොදු ලක්ෂණ වන අධික සැරසිලි බව හා විස්තරාත්මක බව මෙම නිර්මාණයේ ඇඳුම් පැලඳුම් ආශ්‍රිත ව පැහැදිලි ව දක්වා තිබේ.
  • අඛණ්ඩ කථන ක්‍රමයට අඳින ලද කථාවේ එක් කොටසක් මෙයින් දැක්වෙන අතර සම්පූර්ණ තීරුව පුරා සිද්ධිය සංරචනය කොට තිබීම ද දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයකි.
  • කහ, කළු, සුදු, නිල්, රතු, කොළ සහ දුඹුරු යන වර්ණ භාවිත කොට ඇති අතර එම වර්ණවල දක්වන සියුම් වර්ණ ප්‍රභේද මගින් ත්‍රිමාන ලක්ෂණ පෙන්වීමට උත්සාහ දරා ඇත.
  • අලංකරණ ලෙස රූප වටා කළු පැහැති රේඛා හා පසුබිම වර්ණ කිරීම සඳහා නිල් වර්ණය භාවිත කිරීම මෙහි දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.

සිදුහත් උපත

සිදුහත් උපත
  • මෙම සිතුවමෙන් ලුම්බිණි සල් උයනේ සිදුහත් උපත නිරූපණය කෙරේ.
  • අඛණ්ඩ කථන ක්‍රමයට අඳින ලද මෙහි මහාමායා දේවිය සල්ගස් වෙත ළඟා වන අයුරු හා අනතුරු ව දේවිය සල් අත්තක් අල්ලා සිටියදී දරුවා බිහිවන අයුරු දැක්වේ.
  • ගස් දෙක අතර එල්ලන ලද තිරයකින් ඇගේ සිරුරේ යට කොටස ආවරණය වී ඇති අතර බිහිවූ දරුවා සතරවරම් දෙවිවරුන් විසින් පිළිගනු ලබයි.
  • පහතරට විහාර චිත්‍ර කලාවේ පොදු ලක්ෂණ වන සැරසිලිමය හා විස්තරාත්මක බව මෙහි දැක්වේ.
  • විසිතුරු මල් මෝස්තරයන්ගෙන් සමන්විත ඇඳුම්, පැලඳුම් මෙන්ම මහාමායා දේවිය ආවරණය කරන ලද තිර රෙද්ද හා මල් සහිත සල් ගස් දෙකක මෙම නිර්මාණයේ දැකිය හැකි විශේෂ ලක්ෂණ වේ.
  • මෙම සිතුවමේ දැකිය හැකි වර්ණ අතර කහ, කළු, සුදු, නිල්, රතු සහ කොළ යන වර්ණ ප්‍රමුඛ වේ. පසුබිම සඳහා නිල් හෝ කොළ පැහැයට හුරු අඳුරු පැහැති වර්ණයක් භාවිත කොට ඇත.
  • වර්ණ පැතලි ලෙස භාවිත වුව ද සමහර ස්ථානවල ඉතා සියුම් ලෙස ආලෝකය හා අඳුර (ත්‍රිමාන බව) හඟවන ලක්ෂණ මතු කිරීම දැකිය හැකි වේ.
  • රූප වටා මෙන් ම සැරසිලි අංග විස්තරාත්මක ව දැක්වීම සඳහා රේඛාකරණය භාවිත කර ඇත.