සාංචි ස්තූපය
- ඉන්දීය ගෘහ නිර්මාණ අතර අශෝක අධිරාජයා විසින් ඉදි කළා යැයි සැලකෙන සාංචි ස්තූපය ඉතා විශිෂ්ට නිර්මාණයකි.
- මධ්‍යම භාරතයේ සුන්දර වූත්, කලාත්මක වූත් කඳු ගැටයක් මත ඉදි වී ඇති සාංචි ස්තූපය හා අවට ප්‍රදේශය කලාගාරයක් වැනි ය.
- සාංචි මහා ස්තූපයට අමතර ව තවත් චෛත්‍යය දෙකක් ඇති අතර මහා තූපය ඒ අතරින් සුවිශේෂ නිර්මාණයක් ලෙස සැලකේ.
- එය අඩි 120 ක විශ්කම්භයකින් යුතු අතර අඩි 54ක් උස ය.
- මෙය බුබ්බුලාකාර හැඩයෙන් යුත් චෛත්‍යයකි. පොළොව මට්ටමේ සිට අඩි 16 ක් උසින් චෛත්‍ය වටා යා හැකි ප්රදක්ෂිණා පථයක් වේ. මෙම කොටස “මේධිය” නමින් හඳුන්වයි. මෙය වටා ගලින් කරන ලද ගරාදි වැටකි. ප්රදක්ෂිණා පථයට නැගීමට සෝපාන පන්ති දෙකකි.
- “මේධිය” මත ගර්භය පිහිටා ඇත. ස්තූපයේ මුදුන ශෛලමය ගරාදි වැටකින් යුත් සතරැස් කොටුවකි. මෙය “හර්මිකාව” යනුවෙන් හැඳින්වේ.
- හර්මිකාව මැද (ස්තූපය මුදුනේ) මුදුන උල් වූ අටපට්ටම් සෙල්මුවා ටැඹක් පිහිටා ඇත. එය “යූපය” යනුවෙන් ද “යෂ්ටිය” යනුවෙන් ද හඳුන්වයි.
- යූපය මුදුනේ වෘත්තාකාර පැතලි ගල් පුවරු තුනකි. මේවා පහළ සිට ඉහළට කුඩාවන ලෙස සකස් වී ඇත. 'ඡත්‍ර' යනුවෙන් මෙම වෘත්තාකාර ගල්පුවරු හඳුන්වයි.
සාංචි තොරණ
- සාංචි ස්තූපයේ සතර පැත්තේ ඇති තොරණ ඉන්දීය කලා නිර්මාණ අතර හමුවන විශිෂ්ට කලා නිර්මාණ ලෙස සැලකේ.
- සාංචි තොරණ සාතවාහන යුගයට අයත් නිර්මාණ ලෙස සැලකේ.
- සාංචි තොරණ සතරම එකම ආකෘතියකට අනුව සකස් කරනු ලැබ ඇත.
- දෙපසින් ඉදි වූ සත්ත්ව රූප සහිත කුලුනු ශිර්ෂයෙන් යුතු සතරැස් ගල් කුලුනු දෙකක් හා ඒ මත තිරස් අතට සමාන්තර ව පිහිටුවා ඇති ගල් පුවරු තුනකි. තිරස් ව දක්වා ඇති විශාල ගල් පුවරු හෙවත් උඩෙලිපත් තල්පතක ස්වභාවය දක්වමින් ඒවා ඇතුළු පැත්තට එතුණු ආකාරයෙන් කලාත්මක ව නිර්මාණය කර ඇත. මෙම තිරස් ගල් පුවරු එකිනෙකට සම්බන්ධවන ලෙස වූ කුඩා ගල් කණු තුන බැගින් දක්වා ඇත.
- මෙම සැම තිරස් සිරස් ගල් කණුවක් ම සාංචි ශිල්පියා කැටයමින් අලංකාර කර ඇත. ප්‍රධාන සිරස් කුලුනු අග ඇත් රූ, වාමන රූප, සිංහ රූපවලින් යුතු ශිර්ෂයකින් සමන්විත වන අතර එහි පළමු තිරස් අතට ඇති ගල් පතුරට කූඤ්ඤයක් ලෙස සම්බන්ධ වූ “සාලබංජිකා” නම් ස්ත්‍රී රූ මූර්තිමත් කර ඇත.
- තොරණ ඉහළින් ම ඇති තිරස් ගල් පුවරුව හෙවත් උඩෙලිපත මත ත්‍රිශූලය, මිනිස් රූප සහ සත්ත්ව රූප නිර්මාණය කර ඇත.
- සාංචි තොරණ කැටයම් නිර්මාණ සඳහා වස්තු විෂය පහත දැක්වේ.
- 1. ජාතක කතා - උදා :- ඡද්දන්ත, වෙස්සන්තර, මහාකපී ජාතක ය
- 2. බුද්ධ චරිතයේ සිද්ධි - උදා :- බුදුවීම, බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කිරීම
- 3. සිදුහත් චරිතයේ සිද්ධි - උදා :- කේශ ඡේදනය, අභිනිෂ්ක්‍රමණය
- 4. ඓතිහාසික සිද්ධි - උදා :- අශෝක රජු ශ්‍රී මහා බෝධිය වැඳීම, ධාතු කෝලහලය
- සාංචි තොරණ කැටයම් නිර්මාණවල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ
- සිරස් ගල් කණු මත කැටයම් පනේල වශයෙන් දැක්වීම හා තිරස් ගල් පුවරු මත බොහෝ විට අඛණ්ඩ කථන ක්‍රමය අනුව කැටයම් නිර්මාණය කර තිබීම
- කැටයම් ඉතා සියුම් ලෙස අල්ප උන්නත ව මතු කොට තිබීම
- රූපයකට රූපයක් මුවාවන සේ රූප තලය මත සංරචනය කිරීම
- ඉතා කුඩා ඉඩක් ඇති ස්ථාන පවා මානව රූප, සත්ත්ව හා ශාක හැඩ අවකාශය පුරා සම්පිණ්ඩනය කිරීම
- මිනිස් රූප ශෛලිගත ස්වභාවයෙන් කැටයම් කර ඇති අතර සත්ත්ව රූප ඉතා ස්වාභාවික ලක්ෂණයන්ගෙන් යුතු ව දැක්වීම
- සතුන්ගේ ඉරියව්, ගති ලක්ෂණ හා චලනයන් තාත්ත්වික ව නිරූපණය කර දැක්වීම
- සාංචි කැටයම් ශිල්පියා බුදුරජාණන් වහන්සේ සහ සිදුහත් කුමරු දැක්වීම සඳහා බෝගස, ඡත්රය, ස්තූපය, ධර්මචක්රය සහ ශ්‍රී පාද ලාංඡනය වැනි සංකේත යොදා ගනු ලැබීම
සාංචි තොරණ හා කොටස්
ඡද්දන්ත ජාතකය
- සාංචි තොරණ කැටයම් අතර ඉතා විශිෂ්ට නිර්මාණ වශයෙන් ජාතක කතා කැටයම් සැලකේ.
- එම ජාතක කතා කැටයම් අතර ඡද්දන්ත ජාතකය කැටයම ඉතා සුවිශේෂ වේ. එය සාංචි තොරණ කිහිපයක දැකිය හැකි කැටයමකි.
- මෙහි දැක්වෙන්නේ උතුරු තොරණේ කැටයමකි.
- එය තොරණේ ඇතුල් පැත්තේ ඉහළම උඩලිපතහි දැකිය හැකිය.
- තිරස් ගල් පුවරු මත අඛණ්ඩ කථන ක්‍රමය අනුව මෙම කැටයම් නිර්මාණය කර ඇත.
- ඉහත රූපයේ දැක්වෙන්නේ ඡද්දන්ත ජාතකයේ නුග ගස මුල සිටින ඇතුන්ගේ දර්ශනයකි.
- මෙහි ඇති ඇත් රූප ඉතා ස්වභාවික ලක්ෂණයන්ගෙන් යුතු වේ. ඇතුන්ගේ ඉරියව්, ගති ලක්ෂණ හා චලනයන් තාත්ත්වික ව නිරූපණය කර ඇති ආකාරය දැකිය හැකි වේ.
- රූපයකට රූපයක් මුවාවන සේ රූප තලය මත සංරචනය කර තිබීම විශේෂත්වයකි.
- ඉතා කුඩා අවකාශ පවා භාවිත කර රූප කැටයම් කර තිබීම දැකිය හැකි ය.
- ඇත් දත් කැටයම්වල දැකිය හැකි සියුම්, මටසිලුටු නිමාව සහිත ලක්ෂණ මෙම අල්ප උන්නත කැටයම්වල දැකිය හැකි වේ.
බුදුරජාණන්වහන්සේ සංකස්ස පුරයට වැඩම කිරීම

- මෙම කැටයම ඇත්තේ උතුරු තොරණේ ඉදිරි පසය.
- බුදුරජාණන්වහන්සේ සංකස්ස පුරයට වැඩම වීම දැක්වෙන මෙම කැටයමේ බුදුන් වහන්සේගේ රූපකාය වෙනුවට බෝගස සංකේත ව දක්වා ඇත. ඒ අනුව හිණිමඟ උඩ හා පහළ බෝගස නිරූපණය කර ඇත.
- මෙහි දැක්වෙන මිනිස් රූප ශෛලිගත ස්වභාවයෙන් කැටයම් කර ඇත.
- රූපයකට රූපයක් මුවාවන සේ රූප තලය මත සංරචනය කර ඇත.
- ඉතා කුඩා අවකාශය පවා භාවිත කර රූප කැටයම් කර තිබේ.
- ඇත් දත් කැටයම්වල දැකිය හැකි සියුම්, මටසිලුටු නිමාව සහිත ලක්ෂණ මෙම කැටයම්වල දැකිය හැකි වේ.
- අල්ප උන්නත ව නෙළන ලද කැටයමකි.









